සමුපකාර සේවක කොමිෂන් සභාවේ සභාපති එච්.ඒ. ගාමිණී හෙට්ටිආරච්චි මහතාගේ පණිවිඩය ………………  

1994 අංක 01 දරන බස්නාහිර පළාත් සමුපකාර සේවක කොමිෂන් සභා ප්‍රඥප්තිය යටතේ ස්ථාපනය කරන ලද, බස්නාහිර පළාත් සමුපකාර සේවක කොමිෂන් සභාව එකී ප්‍රඥප්තියෙන් පැවරී ඇති බලතල ක්‍රියාත්මක කිරීමෙහි ලා නිසි බලධාරීත්වය දරයි.

බස්නාහිර පළාතෙහි ලියාපදිංචි සමුපකාර සමිතිවල ‍සේවය කරන සමුපකාර සේවකයින්ගේ බඳවාගැනීමේ හා උසස්කිරීමේ පරිපාටි නියම කිරීම, පත්වීම් අනුමත කිරීම, ස්ථානමාරු, වැටුප් හා දීමනා නියම කිරීම, සේවා ගැටළු විමර්ශනය කිරීම මෙන්ම, සමුපකාර සේවකයින්ගේ අභියාචනා බලධාරී වශයෙන් නියෝග ලබා දීමේ බලතල ද මෙම කොමිෂන් සභා විෂය පථය යටතේ ක්‍රියාවට නංවනු ලැබේ.

විනිවිදභාවය හා සාධාරණත්වය මත පිහිටා නීත්‍යානුකූල රාමුවක් තුළ කටයුතු කිරීමත්, අවිවාදාත්මක අයුරින් සමුපකාර ප්‍රතිපත්තිවලට අනුකූලව තීරණ ගැනීමත් කොමිෂන් සභාවේ ස්වාධීනත්වය අරභයා ඉතා වැදගත් වේ. එම කාර්යභාරය මනා කොට ඉටු කිරීම සඳහා, මෙම කොමිෂන් සභාවේ අනෙක් සාමාජිකයින් දෙපළ විසින් ද, ලේකම් සහ කාර්ය මණ්ඩලය විසින් ද ලබා‍ දෙන සහයෝගය අති මහත්ය.

බස්නාහිර පළාත් සමුපකාර සේවක කොමිෂන් සභාව විසින් මෑත කාලීනව අත් පත් කර ගනු ලැබූ තවත් සුවිශේෂී ජයග්‍රහණයක් සනිටුහන් කරමින් මෙම නිල වෙබ් අඩවිය මෙතැන් සිට ජන ගත කරන්නෙමු.

බස්නාහිර පළාත් සමුපකාර සේවක කොමිෂන් සභාවේ නිල වෙබ් අඩවිය වෙත ප‍්‍රවේශ වන බස්නාහිර පළාතේ සමස්ත සමුපකාර සේවක ප්‍රජාව සහ මෙම කොමිෂන් සභාවෙන් සේවා සලසා ගන්නා සේවාලාභීන්, කොමිෂන් සභාව සහ එහි කාර්ය මණ්ඩලය වෙනුවෙන් සාදරයෙන් පිළිගන්නෙමි.

වඩාත් උත්කෘෂ්ඨ සේවාවක් සැලසීම ‍සඳහා වන මෙම ව්‍යායාමය සාර්ථක කර ගනු වස්, සේවාලාභී ඔබගේ අදහස් සහ යෝජනා මාගේ ඇගයීමට පාත්‍ර වන බව ද සඳහන් කරනු කැමැත්තෙමි.

එච්.ඒ. ගාමිණී හෙට්ටිආරච්චි
සභාපති
සමුපකාර සේවක කොමිෂන් සභාව
බස්නාහිර පළාත.